පොල් ඉඩම් වල නිෂ්පාදනය අඩු වී ඵලදායීතාව බොහෝ ලෙස අඩු වීමට ප්‍රධානතම හේතුව වන්නේ පස දුර්වල වී පසේ සාරවත්භාවය අඩු වී යාමයි.

වසර 60ක් 70ක් පමණ ආයු කාලයක් ඇති පොල් ගස දීර්ඝ කාලයක් තිස්සේ පසේ ඇති පොහොර උරාගන්නා අතර වගා බිමෙහි සිදු වන පාංශු ඛාදනය මඟින් පසේ තත්ත්වය පිරිහී යයි.


කප්රුකක් ලෙස හඳුන්වන පොල් ගසෙහි සියලු කොටස් ප්‍රයෝජනයට ගැනීමට පොල් වත්තෙන් ඉවත් කරගන්නා නිසා පෝෂක කොටස් නැවත පසට එක්වීමක් සිදු නොවේ. කාලයක් ගත වීමේදී පස් අංශු එකට තද වී සාරවත්භාවය නැති වී යයි. පස් අංශු එකට තද වී ඇති පසක සාරවත්භාවයක් නොමැත. එම පසෙහි වගා කරන බෝගයන්ගෙන් එම් බෝගයේ විභව අස්වැන්න ලබා ගත නොහැකිය. එනම් නිසරු පසක වගා කර ඇති පොල් වගාවෙන් මීට වසර 60කට 70කට පෙර ලබා ගත් අස්වැන්න ලබා දිය නොහැක.

පොල් වගාවේදී පමණක් නොව, සියලුම බෝග වගාකිරීමේදී, එම ශාක කෙරේ පස උපස්ථරයක් ලෙස ක්‍රියා කර, පොහොර, ජලය ආදිය සපයයි. එම නිසා පොල් අස්වැන්න වැඩි කිරීමට පස හරියාකාරව භාවිතය මෙන්ම දීර්ඝ කාලීනව පස ආරක්ෂා කිරීම වැදගත්ය. පොල් වගා බිම් නිතර නිතර හැරෝ කිරීම (සී සෑම), වල් පැළෑටි පාලනය නොකිරීම, සතුන් විසින් පාලනයකින් තොරව තණකොළ උලා කෑම, ආවරණ බෝග වැනි වගාවකින් තොරව පස විවෘතව පැවතීම, බෑවුම් ඉඩම් වල පාංශු ඛාදනය වැලැක්වීමට උපක්‍රම නොයෙදීම වැනි හේතු හා පසෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයක් නොමැති වීම යනාදී කරුණු පොල් වගා බිම්හි පස පිරිහීමට මෙන්ම පසේ ඵලදායීතාව අඩු වීමට හේතු වී ඇත.

මෙසේ නිසරු පසක් පුනරුත්ථාපනය කිරීම මඟින් නැවත සාරවත්භාවයට පත් කළ හැක. පුනරුත්ථාපනය කළ පසට පොල් ගසට අවශ්‍ය පෝෂක, ජලය සංරක්ෂණය කර මුල් මඟින් උරා ගැනීමට සලස්වයි. එමෙන්ම පාංශු ඛාදනය අවම වේ. පොල් වගා බිමක පස පුනරුත්ථාපනය කිරීමට ඇති ප්‍රධානතම ක්‍රමය පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමයි. පසට කාබනික ද්‍රව්‍ය එකතු කර පස දියුණු කිරීමෙන් පසු පොල් ගසේ පෝෂක අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අතිරේක රසායනික පොහොර භාවිත කළ හැක.

පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම තුළින් පස දියුණු වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම වැදගත් කටයුත්තකි. දුර්වල පසක පසේ භෞතික ලක්ෂණ ඉතාමත් පිරිහී ගිය තත්ත්වයක පවතී. එවැනි පසක අංශු අක්‍රමවත් ලෙස විසිරී පවතින අතර වාත අවකාශ අවම බැවින්  පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව මෙන්ම ජලවහන හැකියාවද ඉතාමත් අඩු මට්ටමක පවතී.


මෙවැනි පසකට කාබනික ද්‍රව්‍ය යෙදූ විට පාංශු ජීවින් මඟින් ඒවා ජීර්ණයට භාජනය වීමේදී නානුමය ද්‍රව්‍යයන් ශ්‍රාවය වී පාංශු සමූහන සෑදේ. මෙම පාංශු සමූහන අතර අවකාශ ඇති වී පසේ ව්‍යුහය වැඩි දියුණු වේ. එමෙන්ම මෙම අවකාශ හේතුවෙන් පසේ වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට වැඩිපුර ජලය හොඳින් බැස යාමක්ද සිදු වේ. තවද කාබනික ද්‍රව්‍ය ජීරණයේදී සෑදෙන හියුමස් මඟින් පසට ලැබෙන කළු වර්ණය හේතුවෙන් පාංශු උෂ්ණත්වය පොල් මුල් වලට හිතකර ලෙස අඩු මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වේ.

කාබනික ද්‍රව්‍ය යනු සත්ත්ව හෝ ශාක කොටස් වන නිසා පොල් වගාවට අවශ්‍ය සියලු ක්ෂුද්‍ර හා මහා පෝෂක කාබනික ද්‍රව්‍ය වල අන්තර්ගත වේ. තනි මූලද්‍රව්‍යකින් පමණක් සමන්විත රසායනික පොහොර පසට යෙදීමට වඩා පෝෂක රාශියකින් සමන්විත කාබනික පොහොර යෙදීම නිසා පොල් වගාකරුවාට වැඩි වාසි ඇත කර ගත හැක. කාබනික ජීර්ණයට පත් වීමේදී නිකුත් කරන කාබනික අම්ල හේතුවෙන් පසේ පී. එච්. අගය ඉතා අඩු හෝ වැඩි මට්ටමක් ගැනීමට ඇති හැකියාව අඩු වේ. එනම් පසේ පී. එච්. අගය පොල් වගාවට ඉතාමත් හිතකර මධ්‍යස්ථ මට්ටමක රඳවා ගැනීමට හැකියාවක් ලැබේ. පසෙහි පී. එච්. අගය, පසේ පෝෂක ප්‍රමාණයට මෙන්ම ඒවායේ ද්‍රව්‍යතාවයට ද බලපෑම් ඇති කරනු ලැබේ.

නිසරු පසක පාංශු මූලද්‍රව්‍ය රඳවා ගැනීමට ඇති හැකියාව අඩු අතර එවැනි පසකට රසායනික පොහොර යෙදීමේදී ඒවායේ අඩංගු පෝෂක කොටස් පසෙහි රඳවාගෙන ගසට අවශෝෂණය කිරීමට ඇති හැකියාව බොහෝ සෙයින් අඩු වේ. කාබනික ද්‍රව්‍ය එක් කළ පසක කැටායන-හුවමාරු ධාරිතාව වැඩි වී වැඩිපුර පෝෂක ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකි වේ. පොල් ගසකට පොහොර යෙදූ විට, එම සම්පූර්ණ පොහොර ප්‍රමාණයම එක වරම ගසකට උරාගැනීමක් සිදු නොවේ. කැටායන-හුවමාරු ධාරිතාව වැඩි පසක, එම පෝෂක කොටස් රඳවාගෙන ගසට ක්‍රමයෙන් උරාගැනීමට සලස්වනු ඇත. මෘතෝපජීවී දිලීර වර්ධනය වීම මඟින් පසට එකතු කළ කාබනික ද්‍රව්‍ය දිරාපත් වීම සිදු වන බැවින් ජෛව විද්‍යාත්මකව හිතකර පරිසරයක් නිර්මාණය වේ. මේ හේතුවෙන් පාංශු මහා ජීවින් වන ගැඩවිලුන්, කෘමීන් සහ වෙනත් සතුන් ද ව්‍යාප්ත වී පසේ ජෛවීය ලක්ෂණ වැඩිදියුණු වීමක් සිදු වේ. පස ජීවී ස්වාභාවයකට පත් වන බැවින් එවැනි පසක වර්ධනය වන පොල් ගසක්, නිෂ්පාදන හැකියාව උපරිමයට ළඟා වී හොඳ අස්වැන්නක් ලබා දෙනු ඇත.

මේ අනුව පොල් වගාව දියුණු කිරීමට පසට කාබනික ද්‍රව්‍ය යෙදීම ඉතාමත් වැදගත් වන අතර පාංශු හා තෙතමන සංරක්ෂණ ක්‍රම භාවිතයද ඔබගේ පොල් ඉඩමේ සාර්ථකත්වයට, හොඳ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ඔබට හොඳ ආර්ථිකයකට හිමිකම් කීමටද අත්වැලක් වනු ඇත.

 

කමාලි ආසිරිනි දැදිගම

BSc (agric), M.Sc (Development Communication & Extension), HND In Media & Journalism, Dip in IT

විෂයානුබද්ධ විශේෂඥ (ව්‍යාප්ති හා ජනමාධ්‍ය)

පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය,

පොල් වගාකිරීමේ මණ්ඩලය,

ලුණුවිල