පොල් වගාවේ අභිවෘද්ධිය උදෙසා 2021 වර්ෂයේදි පොල් වගාකරුවන් වෙත සහන රැසක් සැලසීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ. සහන ලබා ගැනිම සඳහා 2021 පෙබරවාරි මස 01 වැනිදා සිට 2021නොවැම්බර් 30 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉල්ලුම් කළ හැක. ඉල්ලුම් කිරීම  සම්බන්ධයෙන් අවශ්‍ය වැඩි විස්තර පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මගින් හෝ ප්‍රදේශයේ   පොල් සංවර්ධන නිළධාරීන් මගින් ලබාගත හැකිය.



ක්‍රමවත් වගාව යටතේ සහන මිලට පොල් පැළ ලබාදීම හා පොල් පැළ නඩත්තු කිරීම සඳහා සහනාධාර ලබාගත හැක. එහිදි නව වගාව / නැවත වගාව /යටි වගාව යටතේ හා පාළු පැළ සිටුවීම, තේ සමඟ මිශ්‍ර වගා වැඩසටහන් සඳහා සහනාධාර හිමිවේ. ගෙවතු වගා වැඩසටහන යටතේ පොල් පැළ 01 සිට 15 දක්වා වු පැළ ප්‍රමාණයක් සහන මිල ගණන් යටතේ ලබා ගැනීමට හැකිය.

පැළ ආරක්ෂණ සහනාධාර වැඩ සටහන යටතේ ක්ෂීරපායි සතුන්ගෙන් පොල් පැළ වලට හානි සිදුවන දිස්ත්‍රික්කවල වගාකරුවන්ට සුදුසු ආරක්ෂණ යෙදීම සඳහා සහනාධාර ලබාගැනීමට ඉල්ලුම් කළ හැකිය. මයිටා හානි කළමණාකරන ව්‍යාපෘතිය යටතේ විලෝපික මයිටා පැකට් රුපියල් 20 ක සහන මිලකට‍ ලබා දෙයි.

පොල් ඉඩම්වල ඵලදායිතාව වැඩි කිරීම සඳහා අතුරු බෝග වගාව ඉහළ­­­­­­ නැංවිමේ අරමුණින් අතුරු බෝග වගාව සඳහා සහනාධාරයක් ලබාගත හැකිය. B හෝ C කාණ්ඩයේ වසර 10 කට වැඩි පුරන් කුඹුරක ස්ථිර බෝගයක් ලෙස පොල් වගාකිරීමට බලාපොරොත්තු වන වගාකරුවන් සඳහා සහනාධාර ලබා දිමට කටයුතු කෙරෙයි.

පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර ක්‍රමය යටතේ නිර්දේශිත පැළ ඝනත්වය පවත්වා ගැනිම මෙන්ම පොහොර කවය නඩත්තුව, පොල් ලෙලි වලවල් යෙදීම වැනි පාංශූ සංරක්ෂණ ක්‍රම යෙදීම සඳහා පොල් වගාකරුවන්ට සහනාධාර ලබා ගැනිමට හැකිය.

පොල් වගාවේ ජල සම්පාදනයට ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති ඉදිකිරීමටද මුල්‍ය සහන ලබා දීම‌ට පොල් වගාකිරීමේ මණ්ඩලය කටයුතු කරයි.