පොල් ගස වර්ෂය පුරාම මල් පිපීම සහ ඵල දැරීම නිසා වෙනත් ශාක වලට වඩා විශේෂත්වයක් දරයි. එම නිසා ප්‍රශස්ථ අස්වැන්නක් සදහා ප්‍රමාණවත් ජල සැපයුමක් මෙන්ම පෝෂක සැපයුමක් ද අඛණ්ඩව පවත්වා ගත යුතුයි. සෑම මසකට වරක් පොල් අත්තක් නිපදවන අතර පොටෑසියම් සැපයුම අඩු තත්ත්වයක් යටතේ පොල් අත්තේ ආයු කාලය අඩු වේ. එමෙන්ම පොල් අතු ප්‍රමාණයෙන් කුඩා වන අතර ගසක නිපදවෙන අතු සංඛ්‍යාවද අඩු වේ. ඒ අනුව නිපදවෙන මල් සංඛ්‍යාව අඩු වන බැගින් පොල් වගාවේ ඵලදායිතාව අඩු වීමට ඍජුවම බලපායි. පැළ වගාවකදී පොටෑසියම් සැපයුම අඩු වුවහොත් පීදීම සඳහා ගත වන කාලය වැඩි විය හැකි අතර නිවැරදි පෝෂක කළමනාකරණයක් යටතේ පොල් පැළයක් ක්ෂේත්‍රයේ සිටුවීමෙන් වසර 4ක දී හෝ ඊට පෙර පීදීමට හැකියාවක් ඇත. පොටෑසියම් වේගවත් වර්ධනයකට පමණක් නොව අස්වැන්න ලැබීමට ගත වන කාලය (pre-bearing periodඅඩු කිරීම සඳහා ද ඉතා වැදගත් වේ. පොටෑසියම් මඟින් සෛල තුළ අයන තුලිත භාවය පවත්වා ගැනීමටත්, මුල් වර්ධනයටත් වැදගත් වන අතර ශාක තුළ සීනි හා තෙල් (sugar and fatමෙන්ම තන්තුමය ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ද පොටෑසියම් වැදගත් වේ.

පොල් වගාව සඳහා වැඩියෙන්ම අවශ්‍ය වන මූලද්‍රව්‍ය පොටෑසියම් (K) වන අතර එය නයිට්‍රජන් (N) වලට සාපේක්ෂව පොල් වගාවකදී වැඩි වශයෙන් පසෙන් ඉවත් වේ. ස්වභාවික ලෙස පොටෑසියම් ක්ෂීරණය (Leaching) මඟින්  හා ශාක  මඟින් අවශෝෂණය හේතුවෙන් පසෙන් ඉවත් වන අතර පාංශු ඛණිජ මඟින් පොටෑසියම් නිදහස් කිරීම, පොහොර මඟින්, බෝග අවශේෂ ඇතුලු කාබනික ද්‍රව්‍ය මඟින් පොටෑසියම් පසට එකතු වීමක් සිදුවේ. පොල් ගසක වසරකට ගෙඩි 100කට වඩා වැඩි අස්වනු විභවයක් පවත්වාගෙන යාමේදී පසෙන් ඉවත් වන සියලුම පොටෑසියම් නැවත ලබා දීම අත්‍යවශ්‍ය වන අතර ගසකට අවුරුද්දකට ගෙඩි 40ක අඩු අගයක් පවත්වාගෙන යාමේදී අමතර පොටෑසියම් පසට එකතු කිරීම එතරම් වැදගත් නොවන බව පෙන්වා ඇත. සාමාන්‍යයෙන් ඝර්ම කලාපීය රටවල පස් වල අඩංගු පොටෑසියම් ප්‍රමාණය අඩු වන අතර හොඳ අස්වැන්නක් පවත්වාගෙන යාම සඳහා පොටෑසියම් සැපයුම හොඳ මට්ටමක පවත්වා ගත යුතුයි.

කෙසේ වෙතත් වර්තමානයේ උපරිම ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර භාවිතය අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙන්වා දී ඇති මේ සඳහා ප්‍රායෝගික රසායනික නොවන විකල්ප විසඳුම් එතරම් සාකච්ඡාවට භාජනය වන බවක් නොපෙනේ. කාබනික පොහොර භාවිතා කර වගාවක් නඩත්තු කිරීමේදී දේශීයව පොටෑසියම් වැඩියෙන් ලබා දිය හැකි ද්‍රව්‍ය පිළිබඳව සලකා ඒ අනුව වගා නඩත්තු කිරීමට උපදෙස් ලබා දීම කාලීන අවශ්‍යතාවයකි.

 

පොල් ගසක් තුළ පරිභෝජනයට නොගැනෙන පොල් අතු, පොල් ලෙලි ඇතුළු සියලුම කොටස් ක්‍රමානුකූලව නැවතත් වගාවට භාවිතයෙන් සැලකිය යුතු පොටෑසියම්, පොහොර ප්‍රමාණයක් මෙන්ම අනෙකුත් වැඩි වශයෙන් අවශ්‍ය වන නයිට්‍රජන්, පොස්පරස් සහ මැග්නීසියම් යන පෝෂක ද ක්ෂුද්‍ර පෝෂක ලෙස අවශ්‍ය වන යකඩ, මැන්ගනීස් සහ බෝරොන් වැනි පෝෂක ද ඇතුළත්ව ශාක වර්ධනයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ යම් මට්ටමකට සැපයීමේ හැකියාව ඇත.

ප්‍රදේශය තුළ බහුලව අඩු වියදමින් ලබා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතය හෝ එම අමුද්‍රව්‍ය භාවිතයෙන්  කොම්පෝස්ට් පොහොර නිපදවා වගාවට යෙදීම මඟින් ඉඩම තුළ ඇති ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය මඟින් ලැබෙන පෝෂක ප්‍රමාණවත් නොවන විට එම  අඩු පාඩුව පිරිමැසීමේ හැකියාවක් ඇත. මෙලෙස කාබනික ද්‍රව්‍ය වලින් පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමේදී පස තුළ සිදුවන ස්වාභාවික පාංශු ජෛවීය ක්‍රියාකාරීත්වය උත්තේජනය වී දුර්වල වී ඇති පාංශු පරිසර පද්ධතිය නැවත පුනරුත්ථාපනයක් සිදු වේ. එමගින් පසේ භෞතික, රසායනික සහ ජෛවීය යන සියලු අංශ දියුණු වන බැවින් පූර්ණ සාරවත්භාවයක් ඇති වී දිගුකාලීනව ඉහළ ඵලදායිතාවයක් ලබා ගත හැකි වේ.  ඒ අනුව වර්ෂ ගණනාවක් තුළ දේශීයව ස්ථායි මට්ටමක ඇති පොල් අස්වැන්නේ (වර්ෂයකට ගෙඩි මිලියන 2750) වැඩි වීමක් අපේක්ෂා කළ හැකි වේ.

පොල් ගසකට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය කුකුල් පොහොර, එළු පොහොර, ගොම පොහොර, වෙනත් සත්ත්ව පොහොර සහ ග්ලිරිසීඩියා වැනි කොළ පොහොර මඟින් ලබා දිය හැකි වේ. මෙහිදී ඉඩමේ ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීම පිළිබඳව ඉඩමට ගැලපෙන ක්‍රමවේදයක් සකස් කර ගැනීම සදහා වගාකරුවන්හට නිවැරදිව මග පෙන්වීමක් සිදු කල යුතු වේ. අවශ්‍ය කරන පොස්පරස් ප්‍රමාණය එප්පාවල රොක් පොස්පේට් වලින් ලබා දීමේ හැකියාව ඇත. වසරකට ගෙඩි 50 -75ක් පමණ අස්වැන්නක් ලබා දෙන පොල් ගසකින් පොටෑසියම් ග්‍රෑම් 1248ක් පමණ ප්‍රමාණයක් ඉවත් වේ. සත්ත්ව පොහොර හෝ කොම්පෝස්ට් පොහොර භාවිත කිරීමේදී ඵල දරණ ගසකට අවශ්‍ය කරන පොටෑසියම් ප්‍රමාණය සම්පූර්ණයෙන් ලබා දීම ඉතා වැඩි ප්‍රමාණයක් යෙදීමට සිදු වන බැවින් ඒ සඳහා විකල්ප අමුද්‍රව්‍ය භාවිත කිරීමට සිදු වේ. රසායනික පොහොර යෙදීමේදී නම් මෙම පොටෑසියම් ප්‍රමාණය මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 1600 ක් මඟින් සපයයි. විකල්ප අමුද්‍රව්‍ය භාවිතයේදී ඉඩමේ පවතින අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ පොල් ගස් සංඛ්‍යාව අනුව ගණනය කර යෙදිය හැකි වේ. උදාහරණයක් ලෙස කුකුල් කොටු පොහොර (20% – 30%  තෙතමනය සහිත) 30kg භාවිත කිරීමේදී ඉඩමේ පොල් ලෙලි පවතී නම් ලෙලි 108ක් හෝ පොල් ලෙලි අළු 3kg ක් හෝ ග්ලිරිසීඩියා 24kg ක් හෝ වල්සූරිය 7kg ක් හෝ පොටෑසියම් සල්පේට් 1kg ක් භාවිත කර පොටෑසියම් අවශ්‍යතාවය සැපිරිය හැකි අතර අනෙකුත් පෝෂක අවශ්‍යතාවයන් සියල්ලද මෙම නිර්දේශය මඟින් ආවරණය වේ.

රසායනික පොහොර භාවිතයෙන් තොරව පොල් ගසකට අවශ්‍ය කරන පොටෑසියම් ලබා ගැනීමට භාවිත කළ හැකි අමුද්‍රව්‍ය පහත ලෙස දැක්විය හැකිය.

  • පොල් ලෙලි, පොල් ලෙලි අළු, පොල් අතු, හනසු, මටළු, පොල් ලෙලි වතුර, පොල් වතුර
  • වල්සූරිය (Tithonia Diversifolia)

  • දැව අළු, දහයියා අළු
  • ජීව අඟුරු (Bio Char) සහ කර දහයියා (half burn paddy husk)
  • ගව මූත්‍රා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිත කළ හැක.
  • ග්ලිරිසීඩියා (ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් ලබා දුන්න ද සැලකිය යුතු පොටෑසියම් ප්‍රමාණයක් ද ලබා දේ)

  •  එරබදු
  • පොටෑසියම් සල්පේට් - (පොළොවෙන් ලබා ගන්නා පොටෑසියම් අඩංගු පොහොර)
  • මයිකා
  •  ෆෙල්ස්පාර් (මෙම කර්මාන්ත වල අවශේෂ වන කොටස් පොටෑසියම් පොහොර ලෙස භාවිතය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි)

·       ඉහත කාබනික ප්‍රභව මඟින් පොල් වගාවට අවශ්‍ය කරන පෝෂක සැපයීමේදී පසේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යන නිසා (උදා: මයිකොරයිසා) ශාක වලට ලබා ගත නොහැකිව පසේ තිරවී ඇති පොටෑසියම් සචල පෝෂක බවට පත් වී මුල් මඟින් අවශෝෂණයට අවස්ථාව ලැබේ.

බහුලව භාවිත කරන කාබනික පොටෑසියම් ප්‍රභව කිහිපයක අඩංගු පොටෑසියම් ප්‍රතිශත පහත ලෙස දැක්විය හැකිය.

ප්‍රභවය

K2O % වියළි බර

වල්සූරිය

2.15 – 4.20

ග්ලිරිසීඩියා

1.45 – 2.95

කුකුල් පොහොර (Layer)

1.7 – 2.25

කුකුල් පොහොර (Broiler)

1.7 – 2.0

ගොම පොහොර

0.4 – 2.0

එළු පොහොර

0.7 - 2.8

කොම්පෝස්ට් පොහොර

0.8 – 1.4

ඌරු පොහොර

0.4 – 0.94

පොල් ලෙලි වතුර

0.06

එරබදු විශේෂ

0.92 – 2.88

කැප්පෙටියා

1.25 – 1.85

පාවට්ටා 

3.00 – 4.50

කොම්පෝස්ට් පෙලට්

0.8 – 1.25

කොම්පෝස්ට් දියරය (කොම්පෝස්ට් ටී)

0.98 – 2.63

මාළු නිස්සාරකය (ෆිෂ් ටොනික්)

0.91 – 2.83

 

ප්‍රදේශ අනුව අවම පිරිවැයක් වැය වන පරිදි සපයාගත හැකි කාබනික පොහොර හෝ ද්‍රව්‍ය වෙනස් විය හැකි වේ. මෙම පෝෂක කළමනාකරණය සමඟ අනෙකුත් සියලු පොල් වගා නඩත්තු කටයුතු නිවැරදිව සිදු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි වේ. තවද ලබා ගත හැකි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය මත සහ ඉඩමේ ප්‍රමාණය අනුව (පොල් ගස් සංඛ්‍යාව අනුව) පොහොර යෙදීමේ වැඩසටහනක් ඒ ඒ ඉඩමට ආවේණික වන සේ සකස් කර ගත යුතු අතර එය වසර පුරාම ක්‍රියාත්මක කිරීමෙන් සෑම ගසකටම අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට කටයුතු කළ හැකි වේ.  


ඩබ්.එම්. රත්නායක, 
සහකාර සාමාන්‍යාධිකාරි (පුහුණු),
පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය,
පොල් වගාකිරිමේ මණ්ඩලය.